නිදා උන් එරබදු මල් පෙති එකින්, එක ඇහැරෙද්දී ඈත කජු ලන්දේ කජු නාඹර වැහි වහිද්දී, මිහිරි කොවුල් නද රනින් බර වූ ගොයම් සිසාරා පැතිරෙද්දී,....
නිදා උන් එරබදු මල් පෙති එකින්, එක ඇහැරෙද්දී ඈත කජු ලන්දේ කජු නාඹර වැහි වහිද්දී, මිහිරි කොවුල් නද රනින් බර වූ ගොයම් සිසාරා පැතිරෙද්දී, රබන් පද අතරින්, කැවුම් තෙල් සුවඳින් එන බක් මහේ සුවඳ ගත සිත දවටා ගන්නට පවුලේ නෑයෝ විතරක් නෙමෙයි, ඉස්කෝලේ අපේ යාළු නෑයෝත් එකකාසු වූ බක්මහේ අවුරුදු සිරි නියමාකාරයෙන් වර්ණවත් කෙරූ ශක්ති සූර්ය මඟුල එකොළොස් වන වතාවටත් පසුගිය 28 වන දා අති උත්කර්ශවත් ලෙසින් පැවතුණි.
සිව් වසරක් පුරාවට නොනිමි පැතුමක සිරවී සිටි මධ්‍ය විද්‍යාලයීය දහසක් සිසුන්ට ඒ පැතුම සාක්ෂාත් කරගන්නට එලෙසින් පසුගිය දින මධ්‍ය විද්‍යාලයීය ක්‍රියාකාරී සංගමයක් වන ශක්ති මාධ්‍ය සංසදය ක්‍රියාත්මක වූ බව සතුටින් දැනුම් දෙන්නෙමු.
දින,සති, මාස ගණනාවක් පුරාවට එක් අයෙකුගේ, දෙදෙනෙකුගේ පමණක් නොව විද්‍යාලයීය සියල්ලන්ගේම අමිල දායකත්වය මධ්‍යයේ සූර්ය කුමරුවන්ගේ උත්තම සංක්‍රාන්තිය එලෙසින් සමරන්නට හැකි වූ හැකිවූ බව කියාපාන්නෙමු.
ඇරඹුමේ සිට නිමාව තෙක් ම සාම්ප්‍රදායික හෙළ බක් මහ සිරිතෙන් විරිතෙන් වර්ණ ගැන්වුණු සිහෙල, දමිළ සියල්ලන්ගේ ම හදවත් එකට යා කෙරූ ශක්ති සූර්ය මංගල්‍යය'23 ඉහත කී ලෙසින් සිව් වසරක් පුරාවට සිරවී සිටි හදවත් ආදරයෙන්, උද්යෝගයෙන් දල්වාලන්නට සමත් වූ බව කාටත් නොරහසකි.
පැණි බඹරේ, කණා මුට්ටි බිඳීම, අලියාට ඇස තැබීම, නිල් ඇල්ලීම, හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන යාම, ගෝනි රේස්, බෝතලයට වතුර පිරවීම, සීනිබෝල ඇහිදීම ලෙසින් එකී මෙකී නොකී ජන ක්‍රීඩා රැසක් අතරේ, ජන ගායනා, ජන නැටුම්, රබන් වැයුම් හා විශේෂයෙන් අංගම්පොර ඉදිරිපත් කිරීම ලෙස වූ ප්‍රාසාංගික අවස්ථා ද ශක්ති සූර්ය මංගල්‍යයේ නොමැකෙන මතකයන් එක් කළ අවස්ථාවන් විය.
මෙලෙසින් පුංචි හදවත් එකට යා කර හෙළ සම්ප්රදාය ඉදිරියට ගෙන යන්නට අතහිත දෙමින් එක්වූ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ඩී. පී. ආර්.ඩී. චතුරංග මහත්මයාණෙනි මාධ්‍ය සංසදය භාර වසන්ති පුෂ්පලතා මහත්මිය ඇතුළු භාර ආචාර්යවරුනි, මධ්‍ය විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන සියළු මහත්ම මහත්මීනි ඔබ සැමට නැවතත් ශක්ති මාධ්‍ය සංසදය ලෙසින් අපගේ ගෞරවණීය ස්තූතිය පුද කරන්නේ ඊළඟ ශක්ති සූර්ය මංගල්‍යය'24 වෑයමට දම්වැල දිගු කරගනිමිනි.



